යෝබ්
32 යෝබ් තමා ධර්මිෂ්ඨයෙකුයයි සිතූ බැවින්+ ඔහුගේ මිතුරෝ තිදෙනා ඔහු සමඟ තවදුරටත් වාද කිරීමෙන් වැළකී සිටියෝය. 2 ඒ අවස්ථාවේදී බූෂ්ගේ+ පෙළපතට අයත් රාම්ගෙන් පැවතෙන බාරකෙල්ගේ පුත් එලිහුගේ කෝපය යෝබ්ට විරුද්ධව ඇවුළුණේය. මන්ද යෝබ් දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා වෙනුවට තමාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කිරීමට වෑයම් කළේය.+ 3 යෝබ්ගේ මිතුරන් තිදෙනා ඔහුට නිවැරදි පිළිතුරක් දීමට නොහැකිව දෙවි දුෂ්ටයෙකුයයි+ ප්රකාශ කළ නිසා එලිහු ඔවුන් සමඟද උදහස් විය. 4 එලිහු එහි සිටි සියල්ලන්ට වඩා වයසින් බාල වූ නිසා+ සියලුදෙනා කතා කර අවසන් වන තුරු යෝබ්ට කිසිවක් නොකීවේය. 5 යෝබ්ගේ මිතුරන් තිදෙනාට තවදුරටත් පිළිතුරු දීමට නොහැකි බව දුටු විට+ ඔහුගේ කෝපය තව තවත් වැඩි වුණේය. 6 පසුව බූෂ්ගේ පෙළපතට අයත් බාරකෙල්ගේ පුත් එලිහු කතා කිරීමට පටන්ගත්තේය.
“මා වයසින් බාලය.
ඔබ සියලුදෙනා මට වඩා වැඩිමල්ය.+
මා දන්නා දේ ඔබ සමඟ කතා කිරීමට තරම්
එඩිතර නොවුණේ ඒ නිසාය.
7 ‘වයසින් මුහුකුරා ගිය අය කතා කළ යුතුයි.
ප්රඥාව ගැන කියා දිය යුත්තේ වයසින් වැඩි අයයි’ කියා මම සිතුවෙමි.+
8 මිනිසාට අවබෝධය ලැබෙන්නේ
ඔවුන් තුළ සියලු බලැති දෙවිගේ බලය ක්රියාත්මක වන විටයි.+
9 යමෙකු වයසින් මුහුකුරා ගිය පමණින් ඔහු ප්රඥාවන්තයෙකු වන්නේ නැත.+
නිවැරදි විනිශ්චයක් කිරීමට හැකියාව තිබෙන්නේ මහල්ලන්ට පමණක් නොවෙයි.+
10 එමනිසා මම දන්නා දේ පවසන විට
මට සවන් දෙන මෙන් ඉල්ලමි.
11 ඔබ සියලුදෙනා කියූ දේට මම සවන් දුන්නෙමි.
ඔබේ තර්ක විතර්කවලටද මම හොඳින් සවන් දුන්නෙමි.+
පිළිතුරු දෙන්නේ කෙසේද කියා ඔබ කල්පනා කළ විටත් මම නිහඬව සිටියෙමි.
12 ඔබ කියූ සෑම දෙයකටම මම හොඳින් අවධානය දුන්නෙමි.
එහෙත් යෝබ්ව නිවැරදි කළ හැකි කිසිවෙක් නැත.
ඔහුට නිවැරදි පිළිතුරක් දීමට සමත් කෙනෙක් ඔබ අතරේ නැත.
13 එසේනම්, ‘ප්රඥාව අප සතුයි’ කියා පැවසීමටවත්+
‘යෝබ්ට දඬුවම් දෙන්නේ දෙවි මිසක මිනිසෙකු නොවෙයි’ කියා පැවසීමටවත් ඔබට අයිතියක් නැත.
14 ඔහු වාද කළේ ඔබ සමඟ මිස මා සමඟ නොවෙයි.
එමනිසා මා ඔහුට පිළිතුරු දෙන්නේ ඔබ පිළිතුරු දුන් ආකාරයට නොවෙයි.
15 ඔබ තිගැස්සී නිහඬව සිටින්නහුය.
ඔබට තව කීමට දෙයක් ඉතුරු වී නැත.
16 ඔබට කීමට තවත් කිසිවක් ඇද්දැයි මම බලා සිටියෙමි.
ඔබ කිසිවක් නොකියා ගල්ගැසී බලා සිටින්නහුය.
17 දැන් මාගේ වාරය පැමිණ තිබේ.
මම අවබෝධ කරගත් දේ ඔබට පවසන්නෙමි.
18 මට කීමට බොහෝ දේ ඇත.
දෙවිගේ බලය මා තුළ ක්රියා කරන බැවින් මට නිහඬව සිටීමට නොහැකිය.+
19 මා සිදුරක් නැති බඳුනක පැස වන වයින් මෙනි.
අලුත් සම් භාජනයක් මෙන් මාත් දැන් පිපිරීමට ආසන්නය.+
20 මට කතා කිරීමට දැන් අවසර දෙන්න.
මාගේ සිත තුළ සිර කරගෙන තිබෙන අදහස් මම පිට කරන්නෙමි.+