යෙසායා
17 දමස්කයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ “දමස්කය කියා නුවරක් තවත් ඉතුරු නොවන්නේය. ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි!+ 2 අරෝයේර්+ නගරවල සියලු වැසියන් පලා යනු ඇත. ඒ ස්ථානවල සත්තු ලගින්නෝය. උන්ව බියගන්වන්න කිසිවෙකු එහි නොසිටින නිසා උන් නිදැල්ලේ සැරිසරන්නෝය.+ 3 එෆ්‍රායිම් දේශයේ සුරක්ෂිත නුවරවල් විනාශ වනු ඇත.+ දමස්කයේ රාජ්‍යයද පහව යන්නේය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ තේජස පහ වී ගිය ලෙසම සිරියාවේ ඉතුරුව සිටින අයගේ තේජසද පහ වී යනු ඇත.” එය ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි දුන් තීන්දුවයි.+
4 “ඒ කාලයේදී යාකොබ්ගේ තේජසද නැති වී යයි.+ ඔහුගේ පුෂ්ටිමත් සිරුර වැහැරී යයි.+ 5 අස්වැන්න කපන්නා කෙතේ අස්වැන්න නෙළාගෙන තම අතින්ම කරල් කඩාගන්නා විට+ ඔහු හරියට රෙෆායිම් තැනිතලාවේ+ අත්හැරුණු ධාන්‍ය කරල් ඇහිඳින කෙනෙකු මෙන් වෙයි. 6 ඔලීව ගස්වල අතු සොලවා* ගෙඩි ඇහිඳගත් පසු ඉහළ අතුවල ඉදුණු ගෙඩි දෙක තුනක් ඉතුරු වෙයි. අනිකුත් අතුවල ඉතුරු වන්නේ ගෙඩි හතරක් හෝ පහක් හෝ පමණයි. ඒ හා සමානව යාකොබ්ගේ සෙනඟ අතරින්ද සුළු පිරිසක් ඉතුරු වන්නෝය.” එසේ පවසන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාය.+
7 ඒ කාලයේදී අසරණ වූ මිනිසා තමන්ට ජීවිතය දුන් තැනැත්තාණන්ගෙන් උපකාර පතයි. ඔහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් දෙස මහත් විශ්වාසයකින් බලයි.+ 8 ඔහු උපකාරය සඳහා තම අතින් සෑදූ+ පූජාසන+ දෙසවත් දේවතා රූප දෙසවත් නමස්කාරය සඳහා සෑදූ කුලුනු හා සුවඳ දුම් පූජාසන+ දෙසවත් තවත් බලන්නේ නැත. 9 ඒ කාලයේදී ඔහුගේ සුරක්ෂිත නුවරවල් අත්හැර ගිය පාළු ස්ථානයක් මෙන්ද විසි කර දැමූ අත්තක් මෙන්ද වන්නේය. ඊශ්‍රායෙල්වරුන්ගේ ක්‍රියාකලාපය නිසා දේශය මුළුමනින්ම විනාශ වෙයි.+ 10 මන්ද ඔබට ගැලවීම ලබා දෙන ඔබේ දෙවිව+ ඔබට අමතක වී ඇත.+ ඔබට සවියක්ව සිටි ඔබේ පර්වතය+ ඔබට දැන් සිහි වන්නේ නැත. ඔබ වෙනත් දේශවලින් පැළෑටි ගෙනැවිත් ලස්සනට වතු වගා කරන්නේ ඒ නිසාය. 11 ඔබ ඒ වතු වටේට ආරක්ෂිත වැටක් බැඳ හිමිදිරි උදෑසනින්ම නැඟිට පැළෑටිවලට සාත්තු කළත් ඔබ දරුණු ලෙස රෝගාතුර වී වේදනා විඳින කාලයේදී අස්වැන්න විනාශ වී යන්නේය.+
12 ඝෝෂා කරන අර මහත් සෙනඟ දෙස බලන්න! මහ සයුරේ රළ මෙන් ඔවුහු කැලඹී ඇත. මහා ජල ධාරාවක් මෙන් ඔවුහු හඬ නඟති.+ නමුත් ඔවුන්ට අත් වන්නේ දුක පමණි! 13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+ 14 රාත්‍රිය උදා වූ විගසම මහත් භීතයක් ඇති වෙයි. නමුත් පසුවදා නිස්කලංක දවසක් උදා වෙයි.+ අපෙන් වස්තුව පැහැරගන්නා අයද අපෙන් කොල්ල කන අයද එලෙසම නිහඬ වෙති.+