යෙරෙමියා
12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි.+ මා ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටදීද ඔබ දුන් තීන්දු ගැන කතා කරන විටදීද ඔබ සාධාරණ ලෙස කටයුතු කරන්නෙහිය. නමුත් දුෂ්ටයන් මෙතරම් සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ ඇයි?+ ද්‍රෝහිකම් කරන්නන් කිසි කනස්සල්ලක් නැතුව සැපෙන් කල් ගෙවන්නේ කෙසේද? 2 පැළයක් මෙන් ඔබ මේ සෙනඟව සිටෙව්වෙහිය. ඔවුහු හොඳින් මුල් ඇද පල දරා ඇත. ඔවුහු තම මුවින් ඔබ ගැන බොහෝ දේ කතා කළත් සිතින්* නම් ඔබෙන් බොහෝ දුරස්ව සිටිති.+ 3 යෙහෝවා දෙවියනි, ඔබ මා ගැන හොඳින් දන්නෙහිය.+ ඔබට මාව පෙනෙන්නෙහිය. ඔබට ළැදි සිතක් මා තුළ තිබේද කියා ඔබ සෝදිසි කර බැලුවෙහිය.+ මරන්න ගෙන යන බැටළුවන්ව වෙන් කර තබන්නාක් මෙන් ඔවුන්වද+ විනාශයේ දවස සඳහා වෙන් කර තබන්න. 4 තව කොපමණ කාලයක් දේශය මලානිකව තිබේවිද?+ එහි ගහ කොළ තව කොපමණ කාලයක් වියළී තිබේවිද?+ දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා මෘගයෝද පක්ෂීහුද දේශයෙන් තුරන්ව ගොස් ඇත.+ “අපට වෙන්න යන දේ දෙවිට පෙනෙන්නේ නැහැ” කියා සෙනඟ පැවසුවෝය.
5 මිනිසුන් සමඟ දිවීමට ගොස් ඔබ වෙහෙසට පත් වෙනවා නම් අශ්වයන් සමඟ ඔබ දුවන්නේ කෙසේද?+ දැන් දේශයේ සමාදානයක් තිබෙනවා කියා සිතා+ ඔබ විමසිල්ලෙන් සිටින්නේ නැත්නම් යොර්දාන් ගඟේ අවදානම් සහිත වනළැහැබ අසලදී ඔබ ක්‍රියා කරන්නේ කෙසේද?+ 6 ඔබේම සහෝදරයෝ හා ඔබේ පියාගේ ගෙයි වැසියෝ පවා ඔබට ද්‍රෝහිකම් කළෝය.+ ඔවුහු ඔබට විරුද්ධව ප්‍රසිද්ධියේ දොස් නඟා ඇත. ඔබ සමඟ ඔවුන් සුහදව කතා කළත් ඔවුන්ව විශ්වාස නොකරන්න.+
7 “මගේ ගෘහය මම අත්හැරියෙමි.+ මගේ උරුමය වූ සෙනඟව තනි කර දැමුවෙමි.+ මගේ ප්‍රේමණීය තැනැත්තියව ඇගේ සතුරාගේ අතට භාර දුනිමි.+ 8 මගේ උරුමය වන ඇය වනයේ සැරිසරන සිංහයෙකු මෙන් මට ගර්ජනා කළාය. මා ඇයට ද්වේෂ කළේ ඒ නිසාය.+ 9 මගේ උරුමය+ වන ඇය මස් කන, වර්ණවත් පක්ෂියෙකු මෙනි. මස් කන අනික් පක්ෂීහු ඇයව වට කරගෙන සිටිති.+ වනමෘගයෙනි, සියලුදෙනාම පැමිණ ගොදුර ඩැහැගන්න.+ 10 එඬේරු බොහෝදෙනෙක්+ පැමිණ මගේ මිදිවත්ත වනසා දැමුවෝය.+ ඔවුහු මගේ උරුමය පාගා දැමුවෝය.+ මා අතිශයින් ආශා කළ ඒ උරුමය+ ඔවුහු පාළු කාන්තාරයක් බවට පත් කළෝය. 11 එය සම්පූර්ණයෙන්ම මැලවී නැති නාස්ති වී ඇත.+ දේශයට සිදු වූ දේ කිසිවෙකු ගණනකටවත් නොගත් නිසා+ එය මා ඉදිරියේ සහමුලින්ම පාළුවට ගොසින්ය.+ 12 පාළුකරය හරහා තිබෙන සෑම අඩි පාරකින්ම කොල්ලකරුවෝ පැමිණ සිටිති. යෙහෝවා දෙවිගේ කඩුව දේශයේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිටි සෙනඟව විනාශ කර දැමුවේය.+ කිසිවෙකුට සාමයෙන් ජීවත් වීමට නොහැක. 13 ඔවුන් තිරිඟු වැපුරුවත් නෙළාගත්තේ කටුය.+ ඔවුන් හෙම්බත් වන තුරුම වෙහෙසී වැඩ කළත් ඉන් කිසි ප්‍රයෝජනයක් ඔවුන්ට ලැබෙන්නේ නැත.+ යෙහෝවා දෙවිගේ උදහස නිසා තමන්ට ලැබෙන අස්වැන්න ගැන ඔවුහු ලැජ්ජාවට පත් වනු ඇත.”
14 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මා උරුම කර දුන් දේශයට අත තැබූ+ මාගේ නපුරු අසල්වාසීන්ව+ ඔවුන්ගේ දේශවලින් මම උදුරා දමන්නෙමි.+ මම යූදා සෙනඟවත් දේශයෙන් උදුරා දමන්නෙමි.+ 15 මම යූදා සෙනඟව දේශයෙන් උදුරා දැමුවත් පසුව ඔවුන්ට දයාව පෙන්වන්නෙමි.+ ඔවුන්ව ආපසු රැගෙන ඇවිත් ඔවුන්ට උරුම වූ දේශයේ එකිනෙකාට හිමි කොටස ලබා දෙන්නෙමි.”+
16 “මාගේ සෙනඟට බාල් දෙවියාගේ නමින් දිවුරන්න ඉගැන්වූ ඒ ජාතීන්,+ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නාමයෙන් දිවුරමින් මාගේ සෙනඟගේ මාර්ග ඉගෙනගත්තොත්+ ඔවුන්ටද මාගේ සෙනඟ අතරේ වාසය කිරීමට අවස්ථාව ලැබේ.+ 17 නමුත් ඒ ජාතීන් මට කීකරු නොවුණොත් මම ඔවුන්ව දේශයෙන් උදුරා, විනාශ කර දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසයි.