ගණන් කතාව
9 ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිටත්ව යෑමෙන් අනතුරුව දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ,*+ යෙහෝවා දෙවි සීනයි පාළුකරයේදී මෝසෙස්ට මෙසේ කීවේය. 2 “නියම කරන ලද කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ පාස්කු පූජාව+ පිළියෙල කළ යුතුයි.+ 3 ඔබට නියම කළ ලෙස මේ මාසයේ දහහතරවෙනි දින සවස් වරුවේ*+ ඔබ එම පූජාව පිළියෙල කළ යුතුයි. ඔබ එම පූජාව පිළියෙල කළ යුත්තේ ඊට සම්බන්ධව ඔබට දුන් සියලු අණපනත්වලට එකඟවයි.”+
4 පාස්කු පූජාව පිළියෙල කරන්න කියා මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට කීවේය. 5 එබැවින් පළමුවෙනි මාසයේ දහහතරවෙනි දිනයේ සවස ඔවුහු පාස්කු පූජාව සූදානම් කළෝය. ඒ අවස්ථාවේ ඔවුන් සිටියේ සීනයි පාළුකරයේය. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟ කළෝය.+
6 මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ පුරුෂයෝ කිහිපදෙනෙක් සිටියෝය.+ එබැවින් ඔවුන්ට එදින පාස්කු පූජාව සූදානම් කිරීමට නොහැකි විය. ඔවුහු මෝසෙස් හා ආරොන් වෙතට ගොස්+ 7 මෙසේ කීවෝය. “මළ සිරුරක් ස්පර්ශ කළ නිසා අපි අද අපවිත්‍ර බව ඇත්තයි. නමුත් ඊශ්‍රායෙල් සෙනඟ අතරින් අපි විතරක් නියමිත දවසේදී යෙහෝවා දෙවිට පාස්කු පූජාව ඔප්පු නොකර+ ඉන්න එක හරි දෙයක් කියා ඔබ සිතනවාද?” 8 එවිට මෝසෙස්, “ඔබ මෙතැනට වී සිටින්න. යෙහෝවා දෙවි මේ ගැන මොනවාද කියන්නේ කියලා අපි බලමු” කියා ඔවුන්ට කීවේය.+
9 ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 10 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා කෙනෙකු අපවිත්‍රව සිටියත්+ දුර ඈත ගමනක් ගොස් සිටියත් යෙහෝවා දෙවි වෙනුවෙන් පාස්කු පූජාව ඔහු සූදානම් කළ යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී ඔබ එසේ කළ යුතුයි. 11 දෙවෙනි මාසයේ+ දහහතරවෙනි දිනයේ සවස ඔවුන් ඒ පූජාව පිළියෙල කළ යුතුයි. මුහුන් නොදැමූ රොටි හා තිත්ත පලා සමඟ ඔවුන් එය අනුභව කළ යුතුයි.+ 12 ඔවුන් පසුවදා උදෑසන වන තුරු ඒ පූජාවේ මස් තබා නොගත යුතුයි.+ පූජාවට ගත් සතාගේ එක ඇටයක්වත් නොකැඩිය යුතුයි.+ පාස්කුව හා සම්බන්ධව මම දුන් සියලු අණපනත්වලට එකඟව ඔවුන් එය පැවැත්විය යුතුයි.+ 13 නමුත් පවිත්‍රව සිටින කෙනෙකු හෝ දුර ඈත ගමනක් නොගිය කෙනෙකු හෝ පාස්කු පූජාව නොපැවැත්තුවොත් ඔහුව මරා දැමිය යුතුයි.+ ඒ තැනැත්තා තම පාපය වෙනුවෙන් ගණන් දිය යුතුයි.+ මන්ද නියම කරන ලද කාලයේදී ඔහු යෙහෝවා දෙවි වන මට එම පූජාව ඔප්පු කළේ නැත.
14 “‘ඔබ සමඟ විදේශිකයෙකු ජීවත් වෙනවා නම් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් පවත්වන පාස්කු පූජාව ඔහුත් පිළියෙල කළ යුතුයි.+ පාස්කුව හා සම්බන්ධව දුන් අණපනත්වලට එකඟව ඔහු එය සූදානම් කළ යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත් විදේශිකයෙකු වුවත් පිළිපැදිය යුත්තේ එකම පනතය.’”+
15 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම සෑදූ දවසේදී+ වලා ටැඹ ඊට ඉහළින් නැවතී තිබිණ.+ නමුත් රාත්‍රියේ සිට උදෑසන දක්වා කූඩාරමට ඉහළින් ගින්නක් පෙනෙන්න තිබිණ.+ 16 දවාලේදී වලා ටැඹ කූඩාරමට ඉහළින් තිබුණේය. රාත්‍රියේදී ඊට ඉහළින් ගින්නක් පෙනෙන්න තිබිණ. දිගටම එසේ සිදු විය.+ 17 සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් තිබූ වලා ටැඹ එතැනින් නැඟී ගිය සෑම අවස්ථාවකදීම ඊශ්‍රායෙල් සෙනඟ තම කූඩාරම් අකුළාගෙන ඒ මොහොතේදීම පිටත්ව ගියෝය.+ වලා ටැඹ යම් ස්ථානයක නතර වූ විට ඊශ්‍රායෙල් සෙනඟ එතැන කඳවුරු බැඳගත්තෝය.+ 18 ඊශ්‍රායෙල් සෙනඟට වෙනත් ස්ථානයකට ගමන් කරන ලෙස යෙහෝවා දෙවි අණ කළ විට ඔවුහු එසේ කළෝය. ඔවුන්ට යම් තැනක කඳවුරු බැඳගන්න කියා යෙහෝවා දෙවි අණ කළ විටද ඔවුහු එසේ කළෝය.+ සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් වලා ටැඹ තිබෙන තාක් කල් කඳවුරු බැඳගත් ස්ථානයෙන් ඔවුහු පිටත්ව ගියේ නැත. 19 සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් වලා ටැඹ දවස් ගණනාවක් නැවතී තිබූ විටද ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට කීකරු වී එතැනම රැඳී සිටියෝය.+ 20 සමහර අවස්ථාවලදී වලා ටැඹ ටික දවසකට පමණක් එහි රැඳී තිබිණ. මෙලෙස කඳවුරු බැඳගෙන සිටින ස්ථානයේ රැඳී සිටින්න කියා යෙහෝවා දෙවි අණ කළ විට+ ඔවුහු එසේ කළෝය. එතැනින් පිටත්ව යන්න කියා යෙහෝවා දෙවි පැවසූ විටද ඔවුහු එසේ කළෝය. 21 සමහර අවස්ථාවලදී වලා ටැඹ+ රාත්‍රිය පුරා එහි රැඳී තිබී උදෑසන එතැනින් නැඟී ගියේය. ඒ අවස්ථාවලදීත් ඔවුහු එතැනින් පිටත්ව ගියෝය. වලා ටැඹ දවාලේ නැඟී ගියත් රාත්‍රියේ නැඟී ගියත් ඊශ්‍රායෙල් සෙනඟ තමන් සිටි ස්ථානවලින් පිටත්ව ගියෝය.+ 22 වලා ටැඹ කූඩාරමට ඉහළින් දවස් දෙකක්, මාසයක් හෝ ඊට වැඩි කාලයක් හෝ රැඳී තිබුණු විට ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරු බැඳගත් ස්ථානයෙන් පිටත්ව නොගොස් එහිම රැඳී සිටියෝය. නමුත් වලා ටැඹ නැඟී ගිය විගස ඔවුහුද එතැනින් පිටත්ව ගියෝය.+ 23 යම් ස්ථානයක කඳවුරු බැඳගන්න කියා යෙහෝවා දෙවි අණ කළ විටද එතැනින් පිටත්ව යන්න කියා යෙහෝවා දෙවි අණ කළ විටද ඔවුහු යෙහෝවා දෙවිට කීකරු වූහ.+ යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස ඔවුහු කළෝය.+